අත්තම්මා
නිහඩ හිත යට
කවියක් ය ඔබ
මගෙ ළදරු ලොව
සුරගනයි ඔබ...
හවස් යාමෙට
ගෙපිල මත හිද
උඹේ උකුලේ
නැලවුණා මම...
ගීත කවි හා
කතන්දර ගැන
නුඹ තරම්
කවුරුත් ම නෑ දැන...
මගෙ අඩන හිත
පවා හෙමිහිට
සිහින විමනට
ගෙන ගියා නුඹ...
කිරි හාමි ගැන
අන්දරේ ගැන
මහා පැරකුම්
රජතුමා ගැන...
මහා කණ්ඩුල
ඇත් රජුන් ගැන
ගැමුණු නම් මහ
රජතුමා ගැන...
මහ රෑට රෑ
අහස සරසන
අපි නොදන්නා
සුරගනන් ගැන...
සිරිත් මල්දම
පුරා කියැවුණ
හොදම හොද ඒ
පොඩි ළමයි ගැන...
අපේ ගම ගැන
අපේ වැව ගැන
පුරාණේ මහ
වීරයන් ගැන...
කටුස්සන් ගැන
කුරුල්ලන් ගැන
අලි ඇතුන් මහ
වන සතුන් ගැන...
ආත්තම්මේ
විශ්වයේ ඇති
බොහෝ දෑ මට
ළං කලා නුඹ...
එදා බාලේ
මගෙ ළදරු හිත
උගත් අරුමැසි
සරසවිය නුඹ...
හිමිවීම හා
අහිමිවීම ද
උගන්වා මට
හැර ගියා නුඹ...
මගේ දෙවගන
මගේ යෙහෙළිය
මගේ මව් තුමියත්
වුණා නුඹ...
මගේ කඩඉම්
සටහනක් ළග
නිසැක පියවර
සටහනක් නුඹ...
ජීවිතේ දෙස
අමුතු ඇසකින්
දකින්නට මා
හුරු කලා නුඹ...
ලෝකයේ හැම
පණ නළකටම
පෙම් කරන්නට
හුරු කළා නුඹ...
නුඹෙ සොහොන මත
පැල කලා මම
නුඹම මට දුන්
පිච්ච මල් ගස...
මගෙ හිතේ රන්
මාලිගාවේ
සදාකාලික
සුරගනයි ඔබ...
- චතූ