නුඹ නාව මාවතේ බලා හිටියා තනිව
________________________________________
බලා හිටියා මම...මේ දීවාලියටත්, පුරුදු විදිහට, නුඹ ඇවිත් යයි කියලා. සෙයිලමේ සයිවර් කඩෙන් මට පරාටා අරන් දෙන්න නුඹ එයි කියලා...ඒත්, ඒක හීනයක් විතරයි. දීපාවලී හඳ අහසින් බැහැලා ගියා. ඒත්, නුඹ ආයෙ ආවෙ නෑ...
________________________________________
සිපගන්න අනවසර දෑස් අද්දර නිසල
සිතුවිල්ල අකීකරු කතා කියනව නිතර
හිත් පුදසුනේ පිදූ දැවෙන ගිනි මල් පොකුර
සදාතන හීන අළු කර දවයි ජීවිතය
අනවසර දොරටු හැර හද උයන ගිනි තබන
මුලාවක් වුණා හිත යළි යළිත් පාරවන
අහස් ගැබ ඈත දුර සැගව යන්නට දෙන්න
ලොවට රහසින් තැනක මට සදා නවතින්න
සීතලම වැස්සකට තෙමී දියබත් වෙන්න
ඉල් මහේ නිල් පාට ආකහේ දියවෙන්න
සෙයිලමේ දුර ඈත ගිය ගමන සිහිවෙන්න
නුඹ දුන්නු හාදුවේ මතක සුවඳයි තවම
දීවාලි අහස යට පුර හඳට ළං වෙන්න
මග බලා නුඹ එක්ක දෑත් පටලා යන්න
ගිය වසරෙ වගේ මේ වසරෙදිත් ඔබ එන්න
කියා පැතුවා හිතින් වැද පුදා දෙවියන්ව
හුදෙකලා දීවාලි සද අහසෙ ගිලෙනකොට
නුඹ නාව මාවතේ බලා හිටියා තනිව
පැතුම් මල් එකින් එක පරවෙලා වැටෙනකොට
හිස් දෑස් අහස් කුස දෙස යොමා සිටිමි මම
මම,
චතූ
2020 නොවැම්බර් මස 19 වැනි දා
ප.ව. 1.16