චතූ 3 years ago 110 3 2

Nisadas Image

නිමිත්ත: යොවුන් වියේ දැඩි සේ පෙම් කළ යුවළකට අවාසනාවන්ත ලෙස වෙන් වීමට සිදු විය.

-අවසානයේ යුවතිය වැන්දඹුවක් ලෙසත් හෙතෙම තනිකඩ මහල්ලෙක් ලෙසත් මහළු මඩමක් තුළ යළිත් මුණ ගැසේ-


හදවත කොණක හසරැල්ලක් රැදුනාට
අවතැන් හීන සිතුවිල්ලකි නුඹ මෙමට
අසරණ වුණත් ජීවිතයේ එක තැනක
ලියන්නට හිතයි කවියක් අපි ගැනම

මල් පිබිදෙන යෞවනයේ ඉම කොණක
වෙනකෙකු අත රැගෙන මා දුර ගිය කලට
අපි ලියු කතාවේ පිටුවක් පුරාවට
දනිමි කදුළු හැලු බව නුඹ මම සේම

අවතැන් කෙරූ ආදරයේ සුපෙම් හද
වෙනතක බැඳෙන වග හීනෙන් දුටිමි මම
ජීවිත සැන්දෑවෙ ඉම කොණ තවම හිද
අපි අපි ගැනම නොහිතන බව කියනු කිම

හැම හවසකම මේ පියසේ මුණ ගැහෙන
හැම දවසකම මගෙ නෙතු ළග හිත තියන
මහළු මඩමෙ කඳුලැලි මැද සිනාසෙන
අවතැන් පෙම්වතුන් යුවළයි අපි දෙදෙන

ජීවිත කතාවේ පෙම් කවි ලියනකොට
වැඩිහිටියන් නොමැරුවා නම් සුපෙම් හද
වැන්දඹුවක් ලෙසින් මේ මඩමේ තනිව
නොසිටිනු ඇති මමත් මෙලෙසින් අවතැන්ව

යොවුන් වියේ බැඳි ආලය ජය ගන්න
හැකි වූවා නම් අපි අපගේ වෙන්න
තනිකඩ මහල්ලෙක් සේ මෙහි නවතින්න
නුඹටත් සිදු නොවනු ඇති අවතැන් වෙන්න

යුග ගමනේ එක් වෙන්නට වරම් නැතත්
මහළු වියේ නුඹ නෙත දැක ගැනුම සැපක්
දෛවය උරුම කළ ඒ දුක් කන්ද මැදත්
නුඹෙ ළෙංගතු සිනහව මහමෙරක් අදත්

මම,
චතූ

Comments (2)

❤️mila❤️ 3 years ago නියමයි ?❤️

චතූ 3 years ago ❤❤thnqq





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps